යුරෝපා සංගමයේ දෙදරා යාමක් අත ළඟ? – විජය දිසානායක

හංගේරියාව මුල් කරගනිමින් යුරෝපා සංගමය තුළ උද්ගතව පවතින අර්බුදය වර්තමානයේ බටහිර දේශපාලනය මුහුණපා සිටින බරපතල අර්බුදයේ එක් පැතිකඩක් පමනයි. බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ අර්බුදය අපෙන් වසන් කරන්න ඉදිරිපත් කරන නිල ආඛ්‍යාණය තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරු දෙකක් අපිට ඉදිරිපත් කරනවා. එකක් තමයි ‘මධස්ථ මධ්‍යවාදීන්‘, එහෙමත් නැත්නම් ‘මොඩරේට් සෙන්ට්‍රිස්ට්ල‘. අනෙක් කඳවුර ‘අන්ත දක්ෂිණාංශිකවාදීන්‘, මෙයාලට ඉංග්‍රීසියෙන් කියන්නේ ‘එක්ස්ට්‍රීම් රයිට්‘ කියල. මේ මූළික දේශපාලන පිල් බෙදුම තුළ ජනතාව හිටගත යුත්තේ කොතනද කියන, තෝරා ගත යුතු විකල්පය කුමක් ද කියන එක ගැන බටහිර මාධ්‍ය ජනතාවට උපදෙස් ලබා දෙනවා. හැබැයි මේක අමූ බොරුවක්. ඇත්තටම බටහිර දේශපාලන ධාරාව තුළ මේ විදිහේ දෘෂ්ටිවාදීමය වශයෙන් එකිනෙකාට එරෙහි කඳවුරු දෙකක් ඇත්තේ නෑ. තියෙන්නේ ආර්ථික මොඩලයක් හැටියට ගරා වැටෙමින් පවතින ධනේෂ්වර ක්‍රමය රැක ගන්න මතුවන ප්‍රතිචාර දෙකක් පමනයි. ධනේෂ්වර ක්‍රමය තවදුරටත් අපි ජීවත්වන අවදියේ ගැටළුවලට පිළියමක් නොවන බව අපේ ඇස් පනා පිට මේ වන විට ඔප්පු වෙමින් පවතිනවා. මේ කඳවුරු දෙකක් පිළිබඳ ගොඩනගන චිත්‍රය අපේ ඇස්වලට වැලි ගසමින්, අතීසාරයට අමුඩ ගහන්න දරන උත්සායක්.
බටහිර මාධ්‍ය ඉදිරිපත් කරන මේ නාටකයේ වීරයා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මෙයකල්. දුෂ්ටයා හංගේරියානු අගමැති වික්ටර් ඔර්බාන්. ඔර්බාන්ගේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති මුල්කරගනිමින් යුරෝපා සංගමය තුළ හංගේරියාවට ඡන්ද හිමිකම අහිමි කිරීමට යුරෝපං සංගමය මේ වන විට ක්‍රියා කරමින් සිටිනවා. හංගේරියාව ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවට චෝදනා කරමින් යුරෝපා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් පැවැත්වීමට පෙර ඔර්බාන් කියා සිටියේ තමන්ගේ මවුබිම ‘සංක්‍රමණිකයන් සඳහා වූ රටක්‘ බවට පත් කිරීමට ඉඩ නොදුන් නිසා තම රටෙන් පළිගැනීමට යුරෝපා සංගමයේ ඇතැම් රටවල් උත්සාහ කරන බවයි.
හංගේරියාව විතරක් නෙවෙයි, ඉතාලිය, පෝලන්තය වගේ යුරෝපා සංගමයේ රටවල් ගණනාවක් ඔර්බාන්ගේ ජනප්‍රිය, සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්තියක් තමයි අනුගමණය කරන්නේ.
මේක අපිට ඒත්තු ගන්වන්න හදන විදිහේ හොඳ සහ නරක අතර හෝ, මධ්‍යස්ථ සහ අන්තවාදී දේශපාලනය අතර ප්‍රශ්ණයක් නෙවෙයි. මෙයකල් සහ ඔර්බාන් කියන දෙදෙනාම පෙනී සිටින්නේ ස්වයං-නාශක නියෝලිබරල් දෘෂ්ටිවාදය වෙනුවෙන්. ධනය සහ බලය තවදුරටත් පවත්වාගෙන යාමට නම් ගෝලීය ආර්ථිකය හසුරුවන ස්වාමිවරුන්ට තමන්ට රිසිසේ සම්පත් සූරාකෑමට සුදුසු පරිසරයක් තවදුරටත් පවත්වාගෙන යා යුතුයි.
වික්ටර් ඔර්බාන් මේ නාටකයේ දුෂ්ටයා වීමට බලපාන තවත් හේතුවක් තියෙනවා. ඔහු පසුගියදා බුඩාපෙස්ට් අගනුවරදී චීන-මධ්‍යම සහ පෙරදිග යුරෝපා රටවල සහභාගීත්වෙයන් යුත් ‘16+1 ‘ කියන ආර්ථික සමුළුවේ සත්කාරකත්වය හෙබවුවා. මේ සමුළුව ගැන බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් වාර්තා කලේ නෑ. ප්‍රංශයේ-ජර්මනියේ නායකත්වය යටතේ බ්‍රසල්ස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ෆෙඩරල් යුරෝපා සංගමයට පිළිතුරු වශයෙන් වඩාත් නිදහස්, ජාතීන් මත පදනම් වූ යුරෝපා සංගමයක් පිළිබඳ මොඩලයක් වෙනුවෙන් හංගේරියාව, ඔස්ට්‍රියාව, පෝලන්තය සහ චෙක් ජනරජය වගේ රටවල් මේ වන විටත් පෙළ ගැසෙමින් සිටිනවා. හංගේරියාව යුරෝපා සංගමයේ ප්‍රභූ පැළැන්තියේ ඉලක්කයක් බවට පත්වන්නේ මේ නිසයි.

Leave a comment